දිවයින පුරා රජයේ රෝහල්වල පැවැති පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (11) උදෑසන 8.00ට නිමාවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම වර්ජනය අවසන් වීමත් සමඟ මේ වන විට දිවයිනේ සියලුම රෝහල්වල සාමාන්‍ය සේවා කටයුතු නැවතත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පැමිණ ඇති බවත් එම සංගමය තහවුරු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ අද උදෑසන 8.00ට පසුව වෛද්‍යවරුන් සිය රාජකාරි සඳහා සාමාන්‍ය පරිදි වාර්තා කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට රෝහල් පද්ධතියම කිසිදු බාධාවකින් තොරව දෛනික කටයුතු සහ රෝගී සත්කාර සේවාවන් සිදු කරමින් පවතින බවයි.
එසේ වුවද, ඉදිරියේදී ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලැබෙන්නේ එළඹෙන විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව බවත්, එම තීරණ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව කඩිනමින් ජනතාවට දැනුම් දීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය.
තවද, අදාල ගැටලුව මේ වන විට අධිකරණය වෙත ද යොමු කර ඇති බැවින්, ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් ඉදිරි පියවර සැලසුම් කරන බවත් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Discussion