Register

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි – ගංවතුර හා නාය යාම් අවදානම තවදුරටත්

 



දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දින කිහිපයක සිට තද වැසි ඇදහැලෙමින් පවතී. අද උදෑසන 8.30ට අවසන් වූ පසුගිය පැය 24ක කාලය තුළ දෙවැනි වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයෙන් වන අතර එය මිලිමීටර් 81.6ක් ලෙස සටහන් වේ.

මෙවැනි පසුබිමක, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ සහ මධ්‍ය පරිමාණ ජලාශ නවයක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාර්තා වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසන්නේ මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමක් පවතින බවයි. එමෙන්ම සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගයද තවමත් ජලයෙන් යටව පවතින බව සඳහන් වේ.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයට ඇදහැලුණු තද වැසි හේතුවෙන් එහි පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇති අතර, පාසල් භූමි කිහිපයකද ජලය පිරී පවතින බව වාර්තා වේ.

මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹගහපිටිය – හංගවැල්ල පාලමේ කොටසක් පසුගිය 27 වැනිදා පැවති ආපදා තත්ත්වයක් හේතුවෙන් කැඩී ගොස් තිබුණි. ප්‍රදේශවාසීන් විසින් තාවකාලික ප්‍රතිසංස්කරණයකින් පසු එම මාර්ගය අසීරුවෙන් භාවිත කළ ද, නැවත ඇදහැලුණු අධික වැසි හේතුවෙන් එය යළිත් කැඩී ගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 200කට ආසන්න පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටී.



ඒ අතර, මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ පොළොව පුපුරා ඉරි තැලී යාම හේතුවෙන් පුද්ගලයන් 270කට ආසන්න පිරිසක් මේ වන විට ඇල්කඩුව දෙමළ විද්‍යාලයේ ආරක්ෂිතව රැඳී සිටින බව වාර්තා වේ. දින දෙකකට පමණ පෙර එම ප්‍රදේශයේ පොළොව ගිලා බැසීමක් සිදුව ඇති අතර, එමඟින් නිවාස 58කට හානි සිදුව තිබේ. තවත් නිවාස රැසක්ද අවදානම් තත්ත්වයක පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක් සඳහා නාය යාම් සම්බන්ධ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අතරම, දෙවන අදියර යටතේ අවදානම පවතින දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35කටද, පළමු අදියර යටතේ අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙන නිවේදන දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කටද තවදුරටත් ක්‍රියාත්මක වේ.

මෙම ප්‍රදේශවල පදිංචි ජනතාවට ඉතාමත් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ අංශ අවවාද කරයි. මීට සති දෙකකට පමණ පෙර සහ පසුගිය පැය 72ක කාලය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස ජලයෙන් අධික ලෙස තෙත් වී ඇති අතර, ඉදිරියේදී ලැබිය හැකි සුළු වර්ෂාවක් වුවද නාය යාම් සහ ගංවතුර අවදානම වැඩි කරනු ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේද නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දැනුම් දී ඇත.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 60ක පමණ වේගයෙන් තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ අතර පස්කඳු කඩා වැටීම්, නාය යාම් සහ ගංවතුර හේතුවෙන් විනාශයට පත් වූ උඩරට දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමෙන් පසු, එම මාර්ගයේ දින 23කට පසුව පළමු නිල මගී දුම්රිය ධාවනය අද උදෑසන ආරම්භ විය. අද උදෑසන 9.00ට බදුල්ලෙන් අබේවෙල බලා එක් දුම්රියක් පිටත් වූ අතර, ඒ සමගම අබේවෙල සිට බදුල්ල බලා තවත් දුම්රියක්ද ධාවනය ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Discussion